
සාක්ෂි අනුව පෙනී යන්නේ, ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් (CO2) විමෝචනයෙන් හතරෙන් එකකට ම වගකිව යුත්තේ ප්‍රවාහනය බවයි. එසේම, මහා පරිමාණයෙන් ප්‍රවාහනය භාවිත කරන නාගරික ජනාවාස මෙම විමෝචනයන් හා වැඩි වශයෙන් බැඳී ඇති බව ද පැහැදිලි ය. ප්‍රමාණයෙන් කුඩා දිවයිනක් නමුදු, ශ්‍රී ලංකාවේ නාගරික ජනාවාස සතුව ද, මෝටර් රථ සහ බස් රථ වල සිට ත්‍රිරෝද රථ දක්වා විවිධාකාර ප්‍රවාහන ක්‍රමවේදයන් ඇත. ශ්‍රී ලංකාවේ පරිසර අධිකාරියට අනුව, කොළඹ නගරයේ සමස්ත විමෝචනයෙන් 60%ක් ම අයත් වන්නේ වාහන වලින් සිදුවන විමෝචනයන්ට ය. දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් හට කිසිදු දැනුමක් නැතැයි මෙම දත්ත අනුව යමෙකුට සිතන්නට ඉඩකඩ ඇති වුවද, එහි සත්‍යතාව දන්නේ මහජනතාව පමණි; මෙකී නගර වල වෙසෙන මහජනතාව විශ්වාස කරන සත්‍යය නම්, දේශගුණික විපර්යාසයන් යනු සැබෑවක් බවයි; සත්‍යය නම්, ඊට එරෙහිව සටන් වැදීමට ඔවුන් බෙහෙවින්ම සූදානම් බවයි; එසේම, තිත්ත ඇත්ත නම්, කාබන් වලින් තොර ප්‍රවාහනයක් පිළිබඳ ඔවුන්ගේ ඉලක්කය වෙත සරල පියවර හෝ ගැනීමට අවශ්‍ය වාතාවරණයක් මෙම මිනිසුන් හට නොමැති වීමයි.
හරිතාගාර වායු විමෝචනය සම්බන්ධයෙන් ගත හැකි ඉතාමත් සරල ප්රවේශයන් අතරින් එකක් වන පාගමන, ශ්‍රී ලාංකේය ජනතාව විසින් ඉතා හොඳින් පිළිගෙන ඇත. නමුත්, මහජනතාවට අනුව, ඒ වෙනුවට වාහනයකින් ගමන් කිරීම තෝරා ගැනීමට හේතුවන ගැටලු රැසක් ඔවුන්ට ඇත. බොහෝ මාර්ග වල, පදිකයින් සඳහා වෙන්වූ පදිකවේදිකා තනා තිබුණද, ඒවා කැඩී-බිඳී ගොස් ය. ඇතැම් තැන්වල පදිකවේදිකාවක් දක්නට ඇත්තේම නැත. එවිට, මුහුණට මුහුණ ලා පැමිණෙන වාහන වල නොවැදී බේරෙන්නටත්, වාහන වලින් බේරී ගමන් කරන විට මාර්ගයේ ඇති කාණු වලට නොවැටී සිටින්නටත්, මාර්ගය අයිනෙන්ම ගමන් කරනු මිස, පදිකයින්ට වෙනත් විකල්පයක් නැත. එපමණක් නොව, වාහන තදබදය තදින් ම ඇති ඇතැම් අවස්ථා වල මෝටර් රථ, විශේෂයෙන් ම යතුරුපැදි ආදිය පදිකවේදිකා මතින් ගමන් කිරීම ද සිදු වේ. එවැනි ක්‍රියාවන් මගින් පදිකයින්ගේ මෙන්ම රියැදුරන්ගේ ද ජීවිත අවදානමට ලක් වේ.

පරිසර-හිතකාමී වාහන නිර්මාණය කිරීමේ උත්සාහයක අවසාන ප්‍රතිඵලය විදුලිබලයෙන් ක්‍රියාත්මක කෙරෙන රථවාහන ය. විදුලි දුම්රිය යනු රටක් විසින් සිදුකළ යුතු ආයෝජනයක් වුවද, විදුලි මෝටර් රථ යනු රටක පුරවැසියන්ට පවා විමසා බැලිය හැකි තේරිමකි. නමුත්, ශ්‍රී ලාංකිකයන් විසින් විදුලි මෝටර් රථ සඳහා ආයෝජනය කරන්නේ නම්, දුර-පළාත් වෙත ගමන්-බිමන් යාම්-ඊම් පිළිබඳ අදහස අත්හැරීමට ඔවුන් සූදානම් විය යුතු වේ. ඊට හේතුව, රටෙහි බොහෝ පළාත්වල විදුලි පරිපථ ආරෝපණය කිරීමේ ස්ථාන නොමැති කමයි. මහජනයා විසින් විදුලි මෝටර් රථ වෙනුවට ඉන්ධන වලින් ධාවනය වන මෝටර් රථ තෝරාගැනීමේ ප්‍රධානතම හේතුව ද එයයි.
හරිතාගාර වායු විමෝචනය අවම කිරීම උදෙසා ලොව බොහෝ රටවල් විසින් ක්‍රියාවට නංවා ඇති තවත් ක්රමෝපායයක් වන්නේ, පුද්ගලික රථ වාහන වල ගමන් කිරීම වෙනුවට පොදු ප්‍රවාහන පහසුකම් භාවිත කිරීමයි. මහජනයාගෙන් වැඩි සංඛ්‍යාවක් පොදු ප්‍රවාහන පහසුකම් භාවිත කළ ද, නාගරික ප්‍රදේශ වල ඇති තදබල වාහන තදබදය අවම කිරීම සම්බන්ධයෙන් එයින් සිදුවන්නේ නොගිණිය හැකි තරම් සුළු කාර්යභාරයකි. පොදු ප්‍රවාහන පහසුකම් වෙත සංඛ්‍යාත්මකව වැඩි ජනතාවක් යොමු කළ හැකි බව පෙනුණ ද, එය කළ හැක්කක් වන තැනට යොමු වන්නට නම්, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් දැවැන්ත වැඩිදියුණු කිරීම් සිදුකළ යුතු වේ. ආරම්භයක් වශයෙන්, පොදු ප්‍රවාහනය සඳහා වන රථ වාහන ප්‍රමාණය, අති විශාල සංඛ්‍යාවකින් ඉහළ නැංවිය යුතු වේ. තදබදයෙන් යුත් පොදු ප්‍රවාහන පහසුකම් භාවිතයේ දී මුහුණ පාන්නට සිදුවන ලිංගික හිංසන තත්ත්වයන් හේතුවෙන් රටේ කාන්තා ජනගහනය ඔවුන් වෙනුවෙන්ම වෙන් වූ පොදු ප්‍රවාහන සේවයක් ඉල්ලා සිටියි. එවැනි දැවැන්ත පියවරක් ගැනීමට රට සූදානම් වුවද, එය ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සමානාත්මතාව ප්‍රවර්ධනයේ යම් ගැටලුකාරී තත්ත්වයන් මතු කළ හැකි ය. පොදු ප්‍රවාහන පහසුකම් තෝරාගැනීමේ තීරණයට එළඹීම පුරවැසියන් හට අපහසු කෙරෙන තවත් කාරණයක් නම්, පොදු ප්‍රවාහනය සේවය බොහෝ විට නියමිත වේලාවට වඩා ප්‍රමාද ව ක්‍රියාත්මක වීමයි. බස් රථ සහ දුම්රිය ගමනාගමනය පිළිබඳ තොරතුරු දැනගත හැකි යෙදුමක් (app) හඳුන්වාදීම පුරවැසියන් හට ඵලදායී විය හැකිය. එවිට, තමන්ට අවශ්‍ය වේලාවට, අදාළ ප්‍රවාහන පහසුකම ලබාගත හැක්කේ කොයි ආකාරයෙන් ද හා කොතැනින් ද යන්න පිළිබඳව දැනගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙනු ඇත.

පාපැදි වලින් ගමන් කිරීම ද පරිසර-හිතකාමී ප්‍රවාහන ක්‍රමවේද සම්බන්ධයෙන් නැගී එන සංකල්පයකි. නමුත් රටෙහි නගර වල මිනිසුන් එම ක්‍රමවේදය අනුගමනය කරන්නේ ඉතාමත් අල්ප වශයෙනි. වෙනත් රටවල පාපැදි භාවිතය වැඩිවෙමින් පැවතීමට මූලික හේතුව වන්නේ, පාපැදි සඳහා පමණක් වෙන්කළ මංතීරු තිබීමයි. පාපැදි භාවිත කරන්නන්ගේ ආරක්ෂාව එමගින් සහතික වන අතර, පහසුව ද එයින් ඉහළ යයි. රටක, පාපැදි සඳහා පමණක් වෙන්කළ මංතීරු සෑදීම දැවැන්ත පියවරක් බැවින්, අවශ්‍ය විටෙක වෙනත් වාහන වලට ද භාවිත කළ හැකි වන අන්දමින් මාර්ග වල පාපැදි සඳහා මංතීරු වෙන්කර, පාපැදිකරුවන්ට ප්‍රමුඛතාව දීමට කටයුතු කිරීම මෙහෙදී වඩාත් ප්‍රායෝගික වේ.
නාගරික ප්‍රදේශ වල දැනටමත් පවතින තදබල රථවාහන තදබදයට බෙහෙවින්ම රුකුල් දෙන තවත් කාරණයක් වන්නේ, අවිධිමත් නගර සැලසුම් ය. විධිමත් නගර සැලසුම් මගින් ප්‍රවාහනය සම්බන්ධ පමණ ඉක්මවූ අවශ්‍යතාව අවම කළ හැකිය. එවැනි තත්ත්වයක් නිර්මාණය කළ හැක්කේ, නාගරික ඉදිකිරීම් ආශ්රිත ප්‍රතිපත්ති බලාත්මක කිරීමේ දී දැඩි පියවර අනුගමනය කිරීමෙන් පමණි. නගර තුළ නේවාසික ප්‍රදේශ සහ වාණිජ ප්‍රදේශ වෙන්කිරීම ද අවශ්‍ය කෙරෙයි. මාර්ග දිගට විසිරී ඇති කුඩා කඩ-සාප්පු, සාප්පු සංකීර්ණ වෙතට යොමු කිරීම මගින් ද වාහන තදබදය අවම කළ හැකි ය. කොළඹින් එපිට නාගරික ජනාවාස වල වාහන තදබදය වැඩිකරන එක් ගැටලුකාරී තත්ත්වයක් වන්නේ, පොදුවේ “සති පොළ” යනුවෙන් හැඳින්වෙන වෙළඳාමේ යෙදෙන ස්ථානයන් ය. බොහෝ විට පදිකවේදිකා මත සිදු කෙරෙන මෙම වෙළඳ ක්‍රියාකාරකම් හේතුවෙන්, පදිකයින් හට සිදුවන්නේ වාහන එහා-මෙහා යන මාර්ගයට අවතීර්ණව ගමන් කිරීමටයි.
ඉතින්, මහජනතාව විසින් හෙළි කර සිටි සත්‍යය මෙයයි. දේශගුණික විපර්යාසය ගැන ශ්‍රී ලංකාවේ මහජනතාව දැනුවත් ය. ඊට එරෙහිව සටන් වැදීමට ඔවුන් සූදානම් ය. නමුත්, කාබන් විරහිත ප්‍රවාහන සේවාවක් පිළිබඳ ඔවුන්ගේ සිහිනය වෙත ළඟාවිය හැකි වාතාවරණයක් ඔවුන් සතුව නැත. ඔවුන් වෙනුවෙන් එම වාතාවරණය සැකසිය හැක්කේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට ය. ඔවුන්ගේ එම සිහිනයට පණ පෙවිය හැක්කේ ද ප්‍රතිපත්ති සම්පාදකයන් හට ය.

Very nice atricle. Every words and sentence gives us actual feelings.
keep it up
https://www.lankaspeaker.com