අනපේක්ෂිත ආපදා තත්වයන්ට මුහුණ දීමට ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්
ජාත්‍යන්තර කම්කරු සංවිධානය
25 November 2019

ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්ම (Business Continuity Plan – BCP) යනු ව්‍යාපාරයකට අනපේක්ෂිත අවස්ථාවන්, ආපදාවන් සඳහා මුහුණදීමට පිළියෙල කළ වැදගත් තොරතුරු, උපාය මාර්ග අඩංගු සැලැස්මකි. මෙම සැලැස්ම ව්‍යාපාරයක් හදිසි අවස්ථාවකට මුහුණදීම හෝ ආපදාවකට ලක්වූ අවස්ථාවන්හිදි එයට ප්‍රතිචාර දැක්වීම සහ ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් යම් මට්ටමකින් පවත්වා ගනිමින් හැකි ඉක්මනින් ප්‍රකෘති තත්ත්වයට පැමිණීම සඳහා පියවරෙන් පියවර ගත යුතු ක්‍රියාමාර්ග අඩංගු ලිඛිත ක්‍රියා පටිපාටියකි.

මෙහිදි මූලික අරමුණවනුයේ ආපදාවකට ලක්වූ අවස්ථාවකදි පළමුව එයට මුහුණදීම, ආයතනයකට එවැනි බලපෑම් සඳහා ඔරොත්තුදීම/ප්‍රත්‍යස්ථතාවය (Resilience) ගොඩනැගීම, ආපදා අවදානම අවම කිරීම (Disaster Risk Reduction), යථා තත්ත්වයට පත්වනතුරු තීරණය කළ මට්ටමින් ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම වේ. තවද ආපදා අවස්ථාවන්ට මුහුණදීම සඳහා සේවකයන්ගේ ධාරිතා වර්ධනය, එවැනි අවස්ථාවලදි අනුගමනය කළ යුතු ලිඛිත ක්‍රියා පටිපාටියක් සකස් කිරීම, අවස්ථානුකූලව උචිත තීරණ ගැනීමේ හැකියාව දියුණු කිරීම ද මෙම සැලැස්මේ අරමුණවෙයි.

ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්ම (BCP) සකස් කිරීමේදි පළමුව ආයතනයේ ව්‍යාපාර කටයුතු හොඳින් විශ්ලේෂණය කර, ආයතන ව්‍යුහය, බලය විමධ්‍යගත වී ඇති ආකාරය, නිෂ්පාදන සහ සේවා ක්‍රියාවලියන්, සැපයුම් දාමයන් (supply chain), වෙළඳපොල සහ අලෙවි පද්ධතීන් (market & marketing network) ආයතනයේ මූල්‍යමය තොරතුරු, සමාජ පද්ධතිය සමඟ ආයතනයේ සම්බන්ධතාවය (social capital work), වගකීම් හොඳින් විග්‍රහ කර ආයතනයේ දැක්ම, මෙහෙවර, අරමුණු පිළිබඳ මනා අවබෝධයක් ලබා තිබිය යුතුය.

ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්මක් විධිමත් ආයතනයක (formal organisation)සකස් කිරීමේදි ඉහත දැක්වූ විශ්ලේෂණය පහසුවෙන් කළ හැකි අතර, ලිඛිත සැලැස්මක්, ක්‍රමවේදයක් සකස් කිරීම එතරම් අපහසු කාර්යක් නොවේ. එනමුදු අවිධිමත් (informal)ගනයට අයත් වන ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් සඳහා මෙවැනි සැලැස්මක් සකස්කිරීම අපහසුබව සිතෙන්නට පුළුවන.

ස්වභාවික ආපදා අවස්ථාවන්හිදි සංඛ්‍යාත්මක වශයෙන් වැඩියෙන්ම බලපෑම් ඇති වනුයේ ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යාපාරවලට වන අතර, එවැනි අවස්ථාවන්ට මුහුණදීම සහ ඔරොත්තු දීමේ ශක්තිය ද ඉතාමත් අඩුය. එමෙන්ම ආපසු නැගී සිටීම සහ මානසික බලපෑම් තුළින් ගොඩ එම මොවුන්ට ඉතාමත් දුෂ්කර කාර්යක් වන අතර ඔවුනට  සඳහා අත දීම අත්‍යාවශ්‍යය. බොහෝ විට ක්ෂුද්‍ර ව්‍යාපාරිකයන්ගේ එකම ජීවනෝපා මාර්ගය තම ව්‍යාපාරය වන අතර නොදැනුවත්කම නිසා ඔවුනට සිදුවන අලාභ අපමණය. මෙය ඔවුනට පමණක් නොව රටේ ආර්ථීකයට ඉතාමත් තදින් බලපානු ඇත.

මෙවැනි සැලැස්මක් තුළින් ඔවුනට ඒ සහායවීම සහ මඟපෙන්වීම තුළින් ඔවුන් යම් මට්ටමක විධිමත් ව්‍යාපාර පවත්නාගෙන යාමටද යොමුකළ හැක.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය
25 November 2019
ආපදා බලපෑම් අවම කිරීම සහ ආපදාවකට මුහුණදීමට ප්‍රත්‍යස්ථතාවය ගොඩනැගීම පිලිබඳ දිගහැරෙන UNLOCKED සාකච්ඡාවට ජපානය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ශ්‍රී ලංකාව හා මාලදිවයින් සඳහාවූ කාර්යාලය විසින් ප්‍රකාශිත ව්‍යාපාර අඛණ්ඩතා සැලැසුම් මාර්ගෝපදේශ ග්‍රන්ථය ඇසුරින් ගෙන එන ලිපි පෙලේ පලමු වැන්න මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නෙමු.

Comments(0)

  • Login or Register
  • Forgot Password
  • New Password
  • Register
Enter your information below
Enter your information below
Lost your password? Please enter your username or email address. You will receive a link to create a new password via email.